අපගේ දැක්ම

මානව හිතවාදී ඵලදායී කාර්යක්ෂම රාජ්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛයා වීම

 

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සම්බන්ධීකරන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ  ජන දිවිය නංවාලීම

 අගයන්
  • කොට්ඨාසයේ රාජ්‍ය සේවා සැපයීමේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වීම.
  • පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වාම රාජ්‍ය අංශයෙන් සිදුවිය යුතු සියලුම සේවා බල ප්‍රදේශයේ ජනතාවට සපයන ප්‍රමුඛතම ආයතනය වීම.
  • ප්‍රදේශයේ විශාලතම මානව සම්පත සතු ආයතනය වීම.
  • සෑම අංශයක්ම ආවරණය වන පරිදි පත් කර ඇති,දිවා රාත්‍රි නොබලා දැඩි කැපවීමෙන් රාජකාරි කටයුතු සිදු කරන,සාම්ප්‍රදායික කාර්යාල සංකල්පයෙන් මිදී, දිනෙන් දින නවීකරණය වන ලෝකයේ එම යහපත් වූ තාක්ෂණික විපර්යාසයන් ජනතා සේවාවන් වඩා විධිමත් කිරීමට යොදා ගත හැකි අවස්ථාවන් පිළිබඳව නිබඳව පර්යේෂණ සිදු කරන සියලු පොදු කටයුතුවලදී කණ්ඩායම් හැඟීමකින් ක්‍රියාකරමින් උපරිම දායකත්වයක් ලබාදෙන, නිපුණතා වලින් පරිපූර්ණ,දක්ෂ නිලධාරීන් පිරිසකගෙන් සමන්විත ආයතනයක් වීම.
  • පාරිසරික සංරක්ෂණය හා නාස්තීන් අවම කිරීම සඳහා අභ්‍යන්තර හරිත ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇති දිස්‍ත්‍රික්කයේ පළමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වීම.
  • ජනතාවට තොරතුරු ලබා ගැනීමට හා අවශ්‍ය ඕනෑම ආකෘති පත්‍රයක් කාර්යාල නිල වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට පහසුකම් සලසා ඇති  හා QR code භාවිතයෙන් පහසුවෙන් වෙබ් අඩවියට පිවිසීමට අවස්ථාව සලසා ඇති  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වීම.
  • ජනතාවට සේවා සැපයීමට පහසු වන පරිදි ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටා තිබීම
  • රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් සේවාලාභී අවශ්‍යතා විධිමත්ව හා කාර්යක්ෂමව ඉටු කර දෙමින් සේවා සැපයීමේදී ජනතා විශ්වාසය හා ප්‍රශංසනීයත්වය ඉහලින්ම දිනාගත් දිවයිනේ කිර්තිමත්ම  රාජ්‍ය ආයතනයක් වීම.
  • සුහුරු කාර්යාල සංකල්පය අනුව යමින් නවීන තාක්ෂණික උපක්‍රම හා සමාජ මාධ්‍ය ඉතා ඵලදායි ලෙස භාවිතා කරමින් විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැපයීම උදෙසා නව්‍යකරණයන් ඔස්සේ  සේවාවන් සැපයීම් වැඩි දියුණු කරන ලද  දිස්ත්‍රික්කයේ ප්‍රථම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වීම.
  • පොදු ජනතා මෙහෙවර වඩාත් උද්දීපනය කරමින් ජනතාවගේ පහසුව පිණිස සතියේ මහජන දිනයේ නියමිත කාර්යාල වේලාවට අමතරව අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම සඳහා  රාත්‍රි 7.00 වන තෙක් විවෘතව තබන,ලාංකීය ඉතිහාසයේ ප්‍රථම හා එකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත් වීම.
  • බාහිර හා අභ්‍යන්තර කාර්යාල පරිසරය ප්‍රසන්න හා ප්‍රියමනාප වු පහ එස් සංකල්පය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් වීම.
  • රාජ්‍ය පරිපාලන සංවිධාන ව්‍යුහය තුළ රාජ්‍ය චක්‍රලේඛ අණ පනත් හා නියෝග අනුව යමින් මහජනතාවට රජය මඟින් ලබාදෙන සියලු සහන හා වරප්‍රසාද ලබා දෙන ජනතාවට සමීපතම රාජ්‍ය ආයතනය වීම.

 අරමුණු

  • ප්‍රදේශයේ දරිද්‍රතාවය අඩු කිරීම.
  • ප්‍රදේශයේ ගොවි සංවිධාන ශක්තිමත් කරමින් කෘෂිකාර්මික පුනර්ජීවනයක් ඇති කිරීම
  • දේශීය කර්මාන්ත හා ප්‍රදේශයට ආවේණික කර්මාන්ත කරුවන් හඳුනා ගනිමින් ඔවුන් නඟා සිටුවීමට කටයුතු කිරීම.
  • ඒක පුද්ගල ආදායම වර්ධනය කිරීම.
  • ප්‍රදේශයේ රැකියා විරහිත භාවය අඩු කිරීම.
  • ප්‍රදේශයේ ජනතාවගේ සාක්ෂරතා මට්ටම ඉහළ තලයකට ගෙන ඒම.
  • ළමා අපචාර තුරන් කිරීම හා කාන්තා හිංසනය පිටු දැකීම.
  • ප්‍රදේශයේ ජනතාවගේ භෞතික සම්පත් වැඩි දියුණු කිරිම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම .
  • පාරිසරික සංරක්ෂණය තුළින් පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම
  • ජන වර්ග කිහිපයක් වෙසෙන අප කොට්ඨාසයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් තුළින් ජාතීන් අතර සහයෝගය හා සංහිඳියාව ඇති කිරීම.
  • නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ජනතාවට වඩා පහසු වන ආකාරයට සේවාවන් වඩා කාර්යක්ෂම කිරීම.
  • කාර්යාලයේ සියලු නිලධාරීන්ගේ දායකත්වයෙන් හා ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය ආයතනද සම්බන්ධිකරණය කර ගනිමින්  ජනතාවට ඵලදායී රාජ්‍ය සේවාවක් ලබා දීම තුළින් ආර්ථික, සාමාජීය හා සංස්කෘතික වශයෙන් සමෘද්ධිමත් හා ස්වයංපෝෂිත ප්‍රදේශයක් නිර්මාණය කිරීම.
  • විශ්වීය න්‍යාය පත්‍රයේ පරිමාව සහ අභිලාෂයන් පිළිබිඹු කරන,මානවයා, මිහිකත හා සෞභාග්‍ය වෙනුවෙන් වන්නා වූ , ලෝකය තිරසර හා ස්ථායී මගකට අවතීර්ණ කරන තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම උදෙසා අදාල පරිවර්තනයන් සිදුකිරීමට සාමූහිකව ක්‍රියා කිරීම.
 
 

bulath location

හැඳින්වීම

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රක්කයට අයත් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නැගෙනහිරින් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් උතුරින් හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් දකුණින් අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් බටහිරින් මදුරාවල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මායිම් වූ  වර්ග කි.මී. 212.2  ක වපසරියක් ඇති මනරම් වූ භූමි භාගයකි.

ග්‍රාම නිලධාරී වසම් 54 කි. උසින්  අඩි 1000 සමෝච්ඡ රේඛාව ඉක්මවා  යන  කඳු මුදුන් කිහිපයක් දක්නට ඇති අතර නැගෙනහිර කොටසේ ඇති කඳු මැදින් ජලාකාර රටාවට ගලා බසින ඇළ දොළ වලින් කළු ගඟ හා කුඩා ගඟ පෝෂණය කරනු ලබයි. සාම්ප්‍රදායික ගැමි සංස්කෘතියකට උරුමකම් කියන බුලත්සිංහල සකල ක්‍රියාකාරීත්වයම රඳාපවතින්නේ කළු ගංගාවේ පිහිටීම හා ක්‍රියාකාරීත්වය අනුවය. සමනල කඳු මුදුනේ සිට කළුතර ගං මෝය දක්වා හැල්මේ දුවන කළු ගඟත් එය පෝෂණය කරන කුකුලේ ගඟ, යටගම්පිටිය ගඟ, පැලැන් ගඟ, මගුරු ගඟ, ගල්ලැක් ඇල එක්ව නිර්මානය වන කුඩා ගංගා වලින් වටවී  තිබෙන බැවින් වැසි කාල වලදී නිරන්තරයෙන් ගංවතුර හා නාය යෑම් වැනි ආපදාවන්ට මුහුණ දීමට සිදුවේ.

ඓතිහාසික පාරිසරික උරුමය මෙන්ම ලෝක උරුමයකට හිමිකම් කියන බුලත්සිංහල යනු සැබවින්ම සුන්දර ගම් පියසකි. අලංකාර කඳු මිටියාවත්, සතා සිවුපාවා, ගංඟා ඇළ දොළ , සුන්දර දිය ඇළි රන්වන් කරලින් බර වූ කෙත් යායවල්  මෙම ප්‍රදේශයේ සොබා සොඳුරු බව, සශ්‍රීකත්වය මනාවට ඉස්මතු කරයි.

2016 වර්ෂය වන විට මුළු ජනගහනය 70470 ක් පමණ වේ. විවිධ ආගම් අදහන විවිධ ජාතීන් සුහදශීලීව එකමුතුකමින් ජීවත්වන මෙහි තේ, රබර්, පොල්, කුරුඳු ආදිය ප්‍රධාන ආදායම් මාර්ග වේ. කෘෂිකාර්මික ආර්ථික රටාවකට වැඩි නැඹුරුවක් තිබුනද නවීකරණය වන වාණිජත්වයට ද අනුවර්තනය වෙමින් පවතින බව දැක ගත හැක.

දකුණු ආසියාවේ දැනට සොයාගෙන ඇති ස්වාභාවික විශාලතම ගල්ලෙන වන පාහියංගල ලෙන මෙහි පිහිටා ඇත.  පස්වන සියවසෙහි මෙරටට පැමිණි දේශගවේෂකයකු වූ චීන ජාතික පාහියන් භින්ෂුව සිය සිරිපා වන්දනාවේ යන අතර නවාතැන් ගත් ස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිතා කර  ඇති බව චීන ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වේ.  වසර  හතලිස් දහසකට පමණ පෙර දියුණු මානව ශිෂ්ඨාචාරයකට අයත් මිනිසුන් ජීවත් වූ බවට පුරා විද්‍යා සාධක හමුවන ලංකාවේ පැරණිතම ස්ථානය මෙය වේ.

වලව්වත්ත වතුරාන  පාරිසරික ආරක්ෂක ප්‍රදේශය මෙම කොට්ඨාසයේ පිහිටා ඇත.  ලෝකයේ දැනට වඳවී ඇතැයි සිතු එහෙත් වලව්වත්තේ පමණක් දැක ගන්නට හැකි හොර වැල ශාකය හා පේරාදෙනිය උද්භිද උද්‍යානයේ පමණක් ඇති සුවඳ ශාකය  නිසා වලව්වත්ත ලෝකවාසීන්ගේ අවධානයට පාත්‍ර වී ඇත.

රජය විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ක්‍රියාදාමයන්ගෙන් පෝෂණය වෙමින් සංවර්ධනය කරා පිය මනින්නා වූ මෙම ප්‍රදේශය පහසුකම් අතින් දියුණු වූ   ප්‍රදේශ මෙන්ම තව දුරටත් සංවර්ධනය කළ යුතු ස්ථානයන් ද පවතී. නුදුරු අනාගතයේදී සංවර්ධිත හා ස්වයංපෝෂිත ආර්ථික රටාවකින් සපිරුණු ගම්මානයක් ලෙස සංවර්ධනය වනු දැකීම මෙම කොට්ඨාසයේ ග්‍රාමීය ජනතාවගේ එකම අරමුණයි.

 
ආරම්භයේ සිට සේවය කල ප්‍රා දේශීය ලේකම් වරුන්  
ඥාණවිපුල මුණසිංහ මහතා  1964 - 1966
ඩී. ධර්මසේන මහතා  1966 - 1967
ඒ.ඒ. නානායක්කාර මහතා  1967 - 1968
කේ.ඩී. සිල්වා මහතා  1968 - 1969
ජී.ඩබ්.ආර්. ද සිල්වා මහතා 1969 - 1970
වෝල්ටර් කේ. හේතුමුණි මහතා 1970 - 1976
පී.එම්. සිරිවර්ධන මහතා 1977 - 1983
ටී.ජී. ආරියදාස මහතා 1984 - 1988
ජේ.ජේ. රත්නසිරි මහතා 1989 - 1990
කේ.ඩී. පියසේන මහතා  1990 -1998
පී.ඩී. ජයනෙත්ති මහතා  2000 - 2003
පී.ඩී. සිරිවර්ධන මහතා  2003 - 2005
බී.ඒ.එම්.පී. අබේරත්න මහත්මිය  2005 - 2011
අයිරාංගනී වීරසිංහ මහත්මිය  2011 - 2016
එස්.කේ. හේනාධීර මහතා  2016 - 2019
පී.ආර්.පී. පෙරේරා මහතා  2019 - 2024
කේ.ටී.කේ.සුලෝචනී මහත්මිය 2025 - මේ දක්වා
 
 
 

News & Events

Scroll To Top